Sunday, June 21, 2015

ඇය කොහෙද ?


ඇය කොහෙද ?
විශ්වවිද්‍යාල ප්‍රවේශය තුළ මානවශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයන්හි අනෙක් පීඨවලට සාපෙක්ෂේව පුරුෂ පාර්ශවය අඩු බවක් දක්නට ලැබෙයි. අප විශ්ව විද්‍යාලයේ (කැලණිය විශ්ව විද්‍යාලය) ද මෙම අවාසනාව දැක ගත හැකිය. මෙය එක අතකින් අවාසනාවක් වන්නේ සරසවි වරම් ලැබූ තරුණියන්ට සරසවි ප්‍රේමයට වරම් නොමැති වීම සීමා වීම නිසා නම් නොවෙයි. නමුත් එය ද අවාසනාවට යම් හේතුවක් විය හැකිය. සියයට අසූවක් පමණ කාන්තාවන් අතුරේ සිටින පුරුෂ පාර්ශවයට නම් මෙය වාසනාවට කරුණක් විය හැකිය. නමුත් පුරුෂ පාර්ශවයේ දුලබ බව නිසා බාහිර කටයුත්තකදී අප අසරණ වන වාර අනන්තය. මෙසේ සිතන්නෝද විශ්වවිද්‍යාලයේ සිටිති.
මුලින්ම මතක් කර දිය යුත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ කාන්තාව තම ශක්තිය තවමත් අවබෝධ කරගෙන නොමැති බවයි. ඔවුන් තම ශක්තිය සහ හැකියාව මනිනු ලබන්නේ සමාජය තුලින් පොවන ලද සංස්කෘතිය නම් කඩතුරාව ඉවත් නොකරමය. එහෙයින් තමන්ට නොමැති වූ අසීමිත ශක්තියක් හා බලයක් පුරුෂ පාර්ශවයෙන්ම බලාපොරොත්තුවනවා විය හැකිය.
ස්ත්‍රී වේවා, පුරුෂ වේවා කුමන වර්ගයකට අයත් මානවයෙක් සම්භවය ලබන්නේ එකම ආකාරයකිනි. එමෙන්ම ඔවුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නේද පිළිගත් පොදු ක්‍රමවේදයකිනි. එසේනම්, විශ්වවිද්‍යාලය තුල පුරුෂ පාර්ශවය දුලබ වීම ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් විය යුතු නොවේ. හේතුව ඒ සඳහා බලපාන්නේ අධ්‍යාපනික කුසලතාවය පමණක් වීමයි. මෙයින් පැහැදිලි වන්නේ සමාජය විසින් අප දකින ආකාරය මෙන්ම සිතන ආකාරය පවා යම් වාරණයකට ලක් කර ඇති බවයි. එක් එක් විෂයන්හි පරිපුර්ණත්වයට පත්වෙමින් නව අදහස් සමාජ ගත කරමින් ලෝකය වෙනස් කිරීමට දායක වන්නාවූ විද්‍යාර්ථින්ගේ ආකල්ප මෙසේ ප්‍රාථමික වන්නේ කෙසේද යන්නනම් ප්‍රශ්නයකි.
එතරම් ශක්තිමත්යැයි සිතන අප අතර සිටින්නාවූ පුරුෂ පාර්ශවයට සුසන්තිකා සමඟ දුවන්නට හෝ රහීම් සමඟ පිහිනන්නට නොහැකිය. නමුත් ඔවුන් දෙපලම ශක්තිමත් කාන්තාවන් දෙපළකි. එසේනම් මෙම ශක්තිය වෙනස් වන්නේ කෙසේද?. එය වෙනස් කර ඇත්තේ බෙදා වෙන් කොට ඇත්තේම මේ සමාජය සහ සංස්කෘතිය යන සාධකයන් විසිනි. මෙය විශ්වවිද්‍යාලයේත් දක්නට ලැබෙන්නේ එම සමාජ බලපෑමේ උණුසුම විශ්වවිද්‍යාලයටත් ලැබෙන නිසාය.
                                    
මේ නිසාම විශ්වවිද්‍යාලයේ යම් ශිෂ්‍ය සංගමයක සභාපති කෙනෙක් පත්වන්නේ නම් ඒ පුරුෂ පාර්ශවයේ අයෙක් වීම න්‍යායයක් බවට පත් වී ඇත. යම් කටයුත්තකදී ක්‍රියාකාරී පුද්ගලයන් වන්නේ ද පුරුෂ පාර්ශවයමයි. විශ්වවිද්‍යාලෙය් වැඩි නියෝජනයක් ඇත්තේ කාන්තා පාර්ශවයට වුවත් ක්‍රියාකාරකම් තුල කාන්තා සහභාගීත්වය අවම බව දක්නට ලැබෙයි. මෙසේ වීමට හේතුව සමාජය විසින් කාන්තාවට දායාද කරන ලද  ගතානුගතිකභාවයම ද? නැත්නම් සංස්කෘතිකමය බලපෑම ද?මෙවැනි වාතාවරණයක් තුල සම තැන  හෝ නිසි තැන අහිමි කර ගෙන ඇත්තේ කාන්තා පාර්ශවයම ද යන ප්‍රශ්නය මතු වෙයි. කෙසේ වෙතත් සමාජ සම්ප්‍රදායටම නතු වී කටයුතු කිරීම දුර්වලකමක් ලෙස පෙන්වා දිය හැකිය. වෙනස් මිනිසුන් බිහිවන සහ වෙනස් මිනිසුන් ගැවසෙන ස්ථානයක් වූ විශ්වවිද්‍යාලයේත් මෙම පොදු ප්‍රශ්නය සාකච්ඡා කිරීමට සිදු වීමත් සමාජයේම දුර්වලතාවයක් ලෙස පෙන්වාදිය හැකිය. විශ්වවිද්‍යාල තුල කාන්තා නියෝජනය වැඩි වුවත් ඇය නායකත්වයට සුදුසු නොවන්නේ ද? ප්‍රබල චරිතයක් නොවන්නේ මන් ද?

විශ්වවිද්‍යාලය තුල ඇගේ තැන ඇයට ලැබී ඇත් ද? නැතහොත් ඇගේ තැන ඇය විසින්ම ප්‍රතික්ෂේප කර ඇත් ද?


එම්.ඩී.ටී.තත්සරිණි

No comments:

Post a Comment